Categories: Latest News

මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මුළු රටම ගිනි ගොඩක්ව පැවැති වකවානුවක මීට වසර එකහමාරකට පමණ පෙර මේ අමාත්‍ය වගකීම අප භාරගත්තේ අභියෝග රාශියක් මැදයි. දිනපතා පැවැත්වුණු උද්ඝෝෂණ, තැන තැන පිහිටුවා තිබූ විවිධ ගම් ආදිය හේතුවෙන් කිසිදු විදේශිකයකු මෙරටට පැමිනුනේ නැහැ. ව්‍යාපාර කටයුතු අඩපණ වුණා. බොහෝ ආයතන වැඩි කාලයක් වසා තැබීමට සිදුවීම හේතුවෙන් බොහෝ දෙනෙකුට නිසි වැටුපක් ලැබුණේ නැහැ. එවැනි තත්ත්වයක පැවතුණු රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය අපට පැවරුණා. ඒ අතර රටේ නායකත්වයේ වෙනසක්ද සිදුවුණා. වත්මන් ජනාධිපතිතුමා සමග පැවැති සාකච්ඡා වලදීද ප්‍රකාශ වූයේ මේ තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සඳහා ජනාධිපතිතුමාගෙන් ඉටුවිය යුතු ඕනෑම කාර්යභාරයක් කඩිනමින් සිදු කර දෙන බවයි. ජනාධිපතිතුමාගේ සහයෝගය නොමැතිව මේ කිසිදු කාර්යයක් සිදුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
අපට පැවරුණු ප්‍රධානම අභියෝගය වූයේ එවකට රටේ පැවති තත්ත්වය වෙනස් කිරීමයි. ඉන් අනතුරුව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ වත්මන් පොලිස්පතිතුමාගේ ද සහයෝගය සහිතව කොළඹ විවිධ නම්වලින් පැවැති ගම් ඉවත්කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ කාර්යභාරය අප ඉටු කළා. ඒ තුළින් මේ වනවිට රටේ විශාල වෙනසක් සිදුව තිබෙනවා. නමුත් එවකට පැවති අරගල තත්ත්වය හේතුවෙන් අදටත් රටේ බොහෝ ප්‍රශ්න පවතිනවා.

එවකට පොලිසියටට අරගල කරුවන් සහ පෙළපාළි ආදී විරෝධතා සම්බන්ධ විශාල අවධානයක් යොමු කිරීමට සිදුව තිබුණා. මත්ද්‍රව්‍ය පාතාලය ඇතුළු වෙනත් අපරාධ ක්‍රියාවන් සම්බන්ධව අවධානය යොමු කිරීමට පොලිසියට කාලයක් ලැබුණේ නැහැ. ඒ කාලය තුළ මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාකාරකම්වල වර්ධනයක් සිදුවුණා.එවකට පොලිසියටත් පොලිස් නිලධාරීන්ටත් ඉතාමත් නරක ආකාරයෙන් සැලකු කාලයක් පැවතුනා. පොලිස් නිල ඇඳුම ඇඟලා ගත් පසු කිසිවෙකුටත් යටත් විය යුතු නැහැ. රාජකාරිය නොබියව ඉටු කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම ගැටලුවකදී අමාත්‍යවරයා ලෙස මා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළා.

ඒ තුළින් පොලිස් නිලධාරීන්ට වඩා හොඳින් රාජකාරි කිරීම සඳහා ශක්තියක් ලැබුණා. ඒ තත්ත්වයත් සමඟ මටත්, පොලිස්පතිවරයාටත් සමාජ මාධ්‍ය තුළ විශාල විවේචනයකට ලක් වීමට සිදුවුණ. ඒ තුළින් අපව අධෛර්යයට පත්කර මේ වැඩ පිළිවෙල අවහිර කිරීමට හැකිවනු ඇති බවට ඔවුන් විශ්වාස කළා. වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා පත් කිරීමට කටයුතු කරන්නේ අමාත්‍යවරයා ලෙස මාගේ අවශ්‍යතාවයට බවට මතයක් ඇතිකිරීමට විශාල වෑයමක් පැවතුණා. කොළඹ පැවති ගැටලු විසඳීමේදීත්, ඉන් අනතුරුව රටේ ප්‍රශ්න විසඳීම සඳහාත් වඩාත් ගැළපෙන හැකියාව සහිත නිලධාරියා ලෙස වත්මන් වැඩ බලන පොලිස්පතිතුමාට ඒ සඳහා අවශ්‍ය හැකියාව පවතින බව මා විශ්වාස කළා. රටට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම හැර වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයන් මට නැහැ. ඇතැම් ආගමික නායකයින්, නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසක් මේ විරෝධතා පසුපස ක්‍රියාත්මක වුණා. පසුව සොයාබැලීමේදී වැඩ බලන පොලිස්පතිවරයා පත් කිරීමට විරුද්ධ වූ බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා නීතිඥයින් බවට හෙළි වුණා.

ඒ අනුව බැලීමේදී මේ පසුපස ඇති සැබෑ වැඩපිළිවෙළ කුමක්ද යන්න පැහැදිලියි. අප මෙයින් ඉවත් කිරීමේ දැඩි අවශ්‍යතාවය පවතින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාලයටයි. ඒ වෙනුවෙන් ඒ වැඩපිළිවෙල ඔවුන් ක්‍රියාත්මක කරමින් පවතිනවා.

ක්‍රියාත්මක කළ යුතු, අත්‍යවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට අප සැලසුම් කර තිබෙනවා. වැඩ බලන පොලිස්පතිතුමාට සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි තුමාට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.මෙරටට මහා පරිමාණයෙන් මත්කුඩු ගෙන්වන පිරිසක් සිටිනවා, එම මත්කුඩු බෙදාහරින පිරිසක් සිටිනවා, මත්කුඩු භාවිතා කරන පිරිසක් සිටිනවා. මෙරටට මහා පරිමාණයෙන් මත්කුඩු ගෙන්වන ජාවාරම්කරුවන් පිළිබඳව නාවික හමුදාවත් සමඟ එක්ව පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබනවා. අපගේ විශේෂ අවධානය යොමු වන්නේ මත්කුඩු අලෙවි කිරීමේ ජාලය සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම සඳහායි. මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ජාලය අක්‍රිය වුවහොත් මත්කුඩු ගෙන්වීමේ ව්‍යාපාරය අඩපනවනවා. එමෙන්ම ඒවා භාවිතා කරන පිරිස් වලට ලබා ගැනීමේ හැකියාවද අහිමි වෙනවා. එම කාර්යය අනිවාර්යෙන්ම අප ඉටු කරනවා.
මීට පෙර සිදුවූයේ මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත්විට යම්කිසි බලවත් පුද්ගලයකු පොලිසියට බලපෑම් කර ඔවුන් නිදහස් කර ගැනීමයි. නමුත් මා මේ අමාත්‍ය ධූරයේ කටයුතු කරන තාක් කල් එවැනි ක්‍රියාවන්වලට කිසිදු අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. කවර තරාතිරමක පුද්ගලයකුගේ හෝ කිසිදු බලපෑමකට අප යටත් නොවන බව අවධාරණය කරනවා. ඒ සඳහා ප්‍රජා පොලිස් කමිටුවල සහ ජනතාවගේ සහාය අපට ඉතාමත් අවශ්‍යයි. ජනතාව අප සමග, පොලිසිය සමඟ එක්ව සිටගත යුතුයි.

සෑම ප්‍රදේශයකම මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතාවට අවබෝධයක් තිබෙනවා. ඒ තොරතුරු පොලිසියට අවශ්‍යයි. මීට පෙර ජනතාව පොලිසියට තොරතුරු ලබාදීමේදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිත බවක් පැවතුණා. නමුත් මේ වැඩ පිළිවෙල යටතේ එවැනි කිසිදු අනාරක්ෂිත බවක් මතුවන්නේ නැහැ. සැකයකින් තොරව අප වෙත තොරතුරු ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අප සියලු දෙනා අත්වැල් බැඳ ගතහොත් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ වැළැක්වීම සිදුකළ නොහැකි දෙයක් නොවේ.විශේෂයෙන්ම මත්කුඩු හා මත්ද්‍රව්‍ය හේතුවෙන් පාතාල ක්‍රියාකාරකම්ද වර්ධනය වනවා. කාන්තාවන්ට හා ළමයින්ට විවිධ හිරිහැර වලට මුහුණ දීමට සිදු වනවා.
ජනවාරි මාසයේ සිට එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම්දීමට පොලිස් කාන්තා නිලධාරිනියන් කටයුතු කරන, පැය 24ම ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දීමට කටයුතු කරනවා.
ත්‍රස්තවාදී යුධ සමයේදී ජනතාව පොලිසිය, ත්‍රිවිධ හමුදාව සමග එක්ව සහයෝගයෙන් කටයුතු කළා. මේ අවස්ථාවේදීත් අප මුහුණ දී සිටින්නේ මුළු රටම වෙලාගෙන තිබෙන යුද්ධයකට සමාන අභියෝගයකටයි. කතාවට පමණක් සීමා නොවී, මේ වැඩපිළිවෙළ රට පුරාම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. ඒ සෑම මෙහෙයුමකටම ජනතාවගේ තොරතුරු ලබාදීම අවශ්‍යයි. ලැබෙන සෑම තොරතුරක් පිළිබඳවම අප පරීක්ෂා කර බලනවා.නීතිය අකුරටම තදින් ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.
මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදෙන පිරිසගෙන්ද තම දරුවන්, පවුල පිළිබඳ සිතමින් මේ ව්‍යසනයට දායක නොවන ලෙස ඉල්ලීමක් කරනවා. මින් ඉදිරියට එවැනි ක්‍රියාකාරකම් සඳහා පොලිසියෙන් කිසිදු සමාවක් හිමිවන්නේ නැහැ. නීති විරෝධී ආයුධ සඟවාගෙන සිටින අය සම්බන්ධවද ක්‍රියාකරන්නේ ඒ ආකාරයෙන්මයි. පොලිසියට විරුද්ධව හෝ යම් අපරාධයකට එම අවි ආයුධ භාවිත කිරීමට පෙර පොලිසියටට තම ආයුධ භාවිත කිරීමට සිදුවෙනවා. ඒ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වනවා. තම දරුවන්ට සහෝදර සහෝදරියන්ට පවුලට ආදරේ සියලු දෙනාට මේ මෙහෙයුමට සහයෝගය දැක්වීමට එක් වන ලෙස ඉල්ලා සිටිනවා.”
මහා සංඝරත්නය, අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු පොලිස් ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Off